Home උණුසුම් පුවත් ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමිඩ් විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම මගින්, අදාළ ගිවිසුම සහ එය සංශෝධනයට අදාළව ගත් කැබිනට් තීරණ දෙකක් බලරහිත කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

2022 වසරේදී අත්සන් තැබූ මෙම ගිවිසුම සංශෝධනය කිරීම සඳහා පසුගිය ජනවාරි 27 සහ ජූනි 02 යන දිනවලදී කැබිනට් මණ්ඩලය විසින් තීරණ ගෙන ඇති බව පෙත්සමේ දැක්වෙනවා.

පෙත්සම්කාරිය චෝදනා කරන්නේ මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම තීරණ ගෙන ඇති බවටයි.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජෛව දත්ත ඇතුළු පෞද්ගලික තොරතුරු ඉන්දියාව අතට පත්විය හැකි බවත්, එය රටේ ස්වෛරීභාවයට හානිකර මෙන්ම විදෙස් රටක මැදිහත්වීම් සඳහා ඉඩ සලසන්නක් බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙනවා.
පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාළ ගිවිසුම සහ කැබිනට් තීන්දු බලරහිත කොට, සමස්ත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියම ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරීණි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version