
වසර 02යි මාස 05ක කාලයක් පුරා රැඳවුම් නියෝග (DO) යටතේ සිටි, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක්කටා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පළා යාමට කුමන්ත්‍රණය කිරීම සහ පළා යාමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (05) දින කැඳවූ අවස්ථාවේ.
එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වූ රවිඳු සන්දීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන අයටද, හරක්කටාට පැන යාම සඳහා ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුවේදී චෝදනා එල්ල වී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.
පැරණි නඩුව ඉවතට – අලුත්ම නඩුවක්!
මෙසේ විභාග වන්නේ හරක්කටා සීඅයිඩී භාරයෙන් පැන යාමට තැත්කිරීම සම්බන්ධයෙන් ඉකුත් 04 වනදා (පෙරේදා) ගොනු කරනු ලැබූ අලුත්ම නඩුවක්.
මීට පෙරද මෙම කරුණ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කොට තිබෙන අතර එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට තිබුණේ හරක් කටා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පමණයි.
නීතිමය තත්වයක් මත එම නඩුවට අදාල අධිචෝදනා දිගටම පවත්වාගෙන යෑමට නොහැකි බැවිනුයි මෙසේ අලුත් නඩුවක් ගොනු කොට තිබෙන්නේ.
නඩුව අලුතින් ගොනු කෙරෙන බැවින්, පෙර චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස මෙහිදී පැමිණිල්ලේ නීතීඥවරුන් ඉල්ලා සිටියා.
එහෙත්, මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ එම පැරණි නඩුවට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් පැරණි චෝදනා පත්‍රය ඉල්ලා අස් කරගැනීමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
එසේ කිරීමට නම්, එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්ති පාර්ශ්වය කටයුතු කළ යුතු බවද විනිසුරුවරයා ප්‍රකාශ කොට සිටියා.
මෙහිදී නැගී සිටි විත්තියේ නීතීඥවරු, අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝෂන් පත්‍රයක් තමන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවට දැනුම් දෙනු ලැබුවා.
අවුරුද්දකට රැඳවුම් නියෝග තුනක්
2023 මාර්තු 01 වනදා මැඩගස්කර පොලිසියේ අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමෙන් පසු 2024 මාර්තු 11 වනදා දක්වා වසරක කාලයක් තිස්සේ හරක්කටා සිරගත කොට තිබුණේ මාස තුනෙන් තුනට අලුත් කෙරෙන රැඳවුම් නියෝග යටතේයි.
ඉන්පසු 2024 මාර්තු 11 වන දින, ඔහුගේ පළා යාමට තැත් කිරීම සම්බන්ධ පැරණි නඩුව (කිරිටොපි නඩුව) විභාගයට ගන්නා අවස්ථාවේ ඔහුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ එම නඩුව අවසන් වනතෙක්, රැඳවුම් නියෝග යටතේ ත්‍රස්ත මර්දන ඒකකයේ භාරයට පත් කෙරුණා.
මෙම නියෝගයට අත්සන් තබනු ලැබුවේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ හිටපු හමුදා ජෙනරල් කමල් ගුණරත්න විසින්.
එම නියෝග ප්‍රකාරව,වසර 01යි මාස 05ක කාලයක් පුරා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ රැඳවුම් මධ්‍යස්ථානයක් වන තංගල්ල පැරණි බන්ධනාගාරයේ හරක්කටාව රඳවා තබනු ලැබුවා.
දැන්, එම පැරණි නඩුව ඉවත් වී එම චෝදනාව වෙනත් නඩු ගොනුවක් හරහා ඉදිරිපත් වන බැවින්, දිගින් දිගටම හරක්කටාව රැඳවුම් භාරයේ තබා ගැනීමට නම් නව නඩුවට අදාලව “නඩුව අවසන් වන තෙක් රඳවා තබා ගැනීමේ නියෝගයක්” ආරක්ෂක ලේකම්වරයාගෙන් යළිත් ලබාගත යුතුව තිබුණා.
අලුත් නඩුවක් – අලුතෙන් DO
හරක්කටා මෙලෙස දිගින් දිගටම රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඔහුගේ නීතීඥවරුන් පාර්ශ්වයෙන් විවිධ මැසිවිලි නැගෙමින් පැවතුනා.
හරක්කටා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා වන්නේ උදුල් ප්‍රේමරත්න.
ඔහු එකල ජවිපෙ සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක්ද වී සිටි අයෙක්.
ඔහු දිගින් දිගටම තර්ක කොට සිටියේ, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” සහ “ත්‍රස්ත මර්දන පනත” යනාදී පනත් සම්බන්ධයෙන් බලයට පත්වීමට පෙර දැඩිව විවේචන එල්ල කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව, දැන් බලයට පත්වීමෙන් පසුව කුමන තත්වයක් යටතේ හෝ සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහා එම අණපනත් භාවිතා කිරීම සදාචාර විරෝධී බවයි.
මේ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ හරක්කටා පාර්ශ්වයෙන් වෙබ් සහ සමාජ මාධ්‍ය හරහා මතයක් ගොඩනගමින් සිටි අතර, හරක්කටා රැඳවුම් භාරයේ තැබීමෙන් රජයට වියදම් කරන්නට සිදුවන “මසකට කෝටියකට අධික වියදම” සම්බන්ධයෙන්ද සමාජයේ මත පළවෙමින් තිබුනා.
මේ අනුව හරක්කටා රැඳවුම් භාරයෙන් ඉවත් කොට සාමාන්‍ය පරිදි රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවටයි විත්තියේ පාර්ශ්වයෙන් දිගින් දිගටම කියැවුණේ.
එසේම, හරක්කටාගේ සිද්ධියට යම් දේශපාලන මුහුණුවරක්ද එක් කරමින් විරුද්ධ පාර්ශ්ව මත පළ කොට සිටියේ නව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින්, හරක්කටා දිගටම රැඳවුම් භාරයේ තබන නියෝගයට අත්සන් කරයිද? නැද්ද? යන කරුණ මාලිමා රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ලිට්මස් පරීක්ෂාවක්ද වන බවයි.
හරක්කටා මරණ සැලසුමක්?
මෙලෙස හරක්කටාගේ රැඳවුම් නියෝග ඉවත් කරගැනීම සඳහා ඔහුගේ නීතීඥවරුන් විසින් කරන ලද ඉල්ලීම් අතර වූ තවත් කරුණක් වුණේ ඔහුට එරෙහිව පවතින ජීවිත තර්ජනයි.
ඔහුගේ ජීවිතය බේරාදීම සඳහා එවකට පැවති ආණ්ඩුවේ යම් යම් පිරිස් අල්ලස් ලෙස කෝටි ගණනක් මුදල් ගත් බවට චෝදනා එල්ල වනවා. හරක්කටා රැඳවුම් භාරයේ තැබීම හරහා එකී පැවති ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ බලපෑම් දිගින් දිගටම එල්ල විය හැකි බවටද ඔහුගේ නීතීඥයින් පවසනවා.
හරක්කටාගේ ගාඩ් එකට STF ඇතුළු 100ක්!
එසේම, හරක්කටාව කොළඹ මහාධිකරණයේදී ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇතැයි ඉකුත් දින දෙකෙහි පුවත් පළවුණා.
පොලිස් නිලධාරියකු, බන්ධනාගාර නිලධාරියකු හෝ මාධ්‍යවේදියකු වෙසින් ඝාතකයා පැමිණිය හැකි බවට බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටින බවටයි එම පුවතේ වැඩිදුරටත් පළවුණේ.
එනිසාම, ඊයේ (05) හරක්කටා රැගෙන ඒන මොහොතේ, කොළඹ මහාධිකරණය අවට අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් යොදවා තිබුණු බවයි වාර්තා වුණේ
එසේම, කොළඹ මහාධිකරණ සංකීර්ණය වෙත අසල ප්‍රදේශ වලින් පැමිණිය හැකි පිවිසුම් මාර්ග සඳහාද විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබුණා.
හරක් කටා යළිත් පලා යයිද?
හරක් කටාගේ අවසන් ඉරණම කුමක් වේවිදැයි දැන්ම කියන්නට බැහැ. කෙසේ වුවත් මෙසේ අත් අඩංගුවට පත්වූ හරක්කටාගේ සමානතමයින් කිහිප දෙනෙක්ම දැනට ජීවතුන් අතර නැහැ. ඔවුන් මරණයට පත් වුණේ පොලිස් අත් අඩංගුවේ සිටියදීමයි.
තවත් කිහිපදෙනෙක් නීතියේ හිඩැස් වලින් රිංගා යළිත් විදෙස් රාජ්‍යයන් වෙත පැන ගියා. ඔවුන් මේ වන විටත් ලෝකය පුරා සැරිසරමින් සිය අපරාධ රාජ්‍යය මෙහෙයවමින් සිටිනවා.
ඉතින්, හරක්කටාගේ ඉරණමත් මේ දෙකෙන් එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මන්ද යත්, අපරාධ ලෝකයේ රජවරුන් සහ ඔවුන් පිටිපස සිටින දේශපාලකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු බලවත් චරිත පිළිබඳ බොහෝ රහස් හරක්කටා සඟවාගෙන සිටින නිසාවෙන්.
යකඩ කූරු අතර සිරකොට, සදහටම ඔහුගේ කට වසා තැබිය නොහැකි වනු නිසැකයි. එනිසා, මීළඟ රංගනයට තිරය හැරෙන තෙක් අපි බලා සිටිමු.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස්ඇප් (WhatsApp) සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s