Home උණුසුම් පුවත් දින තුනක් වයසැති බිළිඳාගේ සිරුර දුම්රිය මැදිරියකින් හමුවේ

දින තුනක් වයසැති බිළිඳාගේ සිරුර දුම්රිය මැදිරියකින් හමුවේ

මාලිගාවත්ත දුම්රිය අංගනයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළියක තිබී දින 03ක් පමණ වයසැති බිළිදු මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබෙනවා.

පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තයට ළඟා වීමෙන් පසු මාලිගාවත්ත අංගනයේ නවතා තිබියදී පිරිසිදු කිරීමේ නිරත වූ සේවකයින් පිරිසකට ඊයේ මෙම මැදිරිය දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන්ට මල්ලක දමා තිබූ මෙම බිළිදු මළ සිරුර හමුවී තිබුණා.
අදාළ සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කෙරුණා.

පොලිසිය සැක කරන්නේ මෙය රෝහලකදී සිදුවූ දරු උපතක් නොවන බවයි.
මූලික නිරීක්ෂණවලට අනුව, මෙය දින තුනක් පමණ වයසැති බිළිඳියකගේ සිරුරක් බවත්, එහි පෙකණිවැලේ කොටසක්ද තිබූ බවත් පොලිසිය පවසා සිටිනවා.
දරුවාගේ සිරුර දමා තිබූ විනිවිද පෙනෙන බෑගය, තීරුබදු රහිත වෙළෙඳසැලකින් ලබාගත් එකක් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.
එහි වූ QR කේතයක් පරිලෝකනය කිරීමේදී එය ඩුබායි රාජ්‍යයේ තීරුබදු රහිත වෙළෙඳසැලකට අයත් බෑගයක් බවට තහවුරු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, ඉන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version