Home උණුසුම් පුවත් DIG බිරිඳගේ නිදන් හෑරිල්ලට අතහිත පොලිසියෙන්

DIG බිරිඳගේ නිදන් හෑරිල්ලට අතහිත පොලිසියෙන්

අනුරාධපුරයේ නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු කණ්ඩායම අනුරාධපුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පති සැමියා ද අනුරාධපුරයේ රැඳී සිටියාද යන්න පිළිබඳව ද මේ වන විට වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුරයේ කිරි ආහාර පූජාවක් සඳහා යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ඒ් සඳහා පසුගිය 13 වෙනිදා කොළඹ සිට අනුරාධපුරයට යාමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට ඉහළින් ඇති නිලධාරීන්ගෙන් අවසරය ලබාගෙන ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගන්නා උත්සවයට සහභාගි වීමට තමා අනිවාර්යයෙන්ම පැමිණෙන බවද ඔහු සිය උසස් නිලධාරීන්ට පවසා ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ කිරි ආහාර පූජාවකට යැයි කියා ඉහළ නිලධාරීන්ට පවසා 13 වෙනිදා රාත්‍රී කාලයේ අනුරාධපුරය බලා ගොස් ඇතත් බිරිඳ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී නොසිටි බවයි වාර්තා වන්නේ .

බිරිඳ හා සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිය බිරිඳ බේරාගැනීමට ඔහු අනුරාධපුරයේ පොලිස් ප්‍රධානියෙකුට දුරකථන ඇමතුමක් දී බලපෑමක් කර ඇති බව සඳහන් වන අතර, ඒ් සම්බන්ධයෙන් විමර්ශනයක්ද මේ වන විට ආරම්භකර තිබෙනවා.

නිධානය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය වූ පූජා භාණ්ඩ සහ කුකුළෙකු සපයා ඇත්තේ එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින, කොළඹට ආසන්න පොලිස් ස්ථානයකින් බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව සඳහන් වනවා.

පොලිස් ආරංචි මාර්ග වලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝග මත මෙම භාණ්ඩ සපයා ඇති බවයි සඳහන් වන්නේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවාලයක් පිහිටි අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිවසක නිදන් හෑරීමේ නිරතව සිටියදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 14 වනදා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී උදලු, අලවංගු ඇතුළු කැනීම් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version