Home උණුසුම් පුවත් පොලිසියට තග දැමූ හිටපු මන්ත්‍රීට වැඩ වරදී

පොලිසියට තග දැමූ හිටපු මන්ත්‍රීට වැඩ වරදී

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණා.

මෙහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් ගනු ලැබුවා.

මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ සභිකයෙක් පොලිස් නිලධාරින්ට බැන වදිමින් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දීමටද උත්සහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිසිය තත්ත්වය පාලනය කිරීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක් දරා සිරමැදිරියකට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා තමාට අසනීප බව පැවසූ නිසා ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

සැකකරු රෝහල තුළදීද කලහකාරී ලෙස හැසිරුණු බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාත් එම රෝහලේම ප්‍රතිකාර ලබනවා.

පොලිසියට තොරතුරු වාර්තා වී ඇති අන්දමට අත්අඩංගුවට පත් මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ හිතවතෙක් වන අතර ඔවුන් දෙදෙනා ඊයේ සවස මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ ඔහු සීතාවක ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජතික පක්ෂයේ සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ⁣අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය විසින් සිදු කරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version