Home උණුසුම් පුවත් වෙරළේ වැලි කෙළියට ගිය සය හැවිරිදි දැරිය මුහුදු රකුසාට බිලි!

වෙරළේ වැලි කෙළියට ගිය සය හැවිරිදි දැරිය මුහුදු රකුසාට බිලි!

මුහුදු රළ පහරකට හසුවී ගසාගෙන යාමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ සය හැවිරිදි දැරියක් ගැන පුවතක් පිළියන්දල මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී,පසුගිය බදාදා (13) දින උදෑසන තංගල්ල, මාරකොල්ලිය, කපුහේන්වල වෙරළ තීරයේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ පා ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි කරන්නාගොඩ ලියනගේ දිහින්මා නෙතුලි පෙරේරා නම් දැරියයි.

තමන් සහෝදර සහෝදරියන් තිදෙනා සමග වෙරළේ සෙල්ලම් කරමින් සිටින විට එක්වරම පැමිණි සැඩ රළ පහරකට නංගී හසුවී බිම ඇද වැටුණු බවත්, ඇය රළ සමගම මුහුද දෙසට ගසාගෙන යන අයුරු දුටු බවත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් ඇයගේ සොහොයුරිය ප්‍රකාශ කර තිබෙනවා.

දරුවන්ගේ දෙමාපියන් නිවාඩුව ගත කිරීම සඳහා තංගල්ලේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් හෝටලය තුළ රැඳී සිට තිබෙනවා.

දරුවන්ගේ කෑගැසීමත් සමඟ දෙමාපියන් සහ හෝටල් සේවකයින් වෙරළට පැමිණ දැරිය සෙවීමට උත්සහ කළද එය ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා.

පසුව, නාවික හමුදා නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පැයකට පමණ පසු දැරියගේ දේහය සොයාගනු ලැබූ බව සඳහන්.

දැරියගේ පියා මරණ පරීක්ෂණයේදී පවසා ඇත්තේ පෙර දින රාත්‍රියේදී එම වෙරළ තීරය දිය නෑමට හෝ රළ පෑගීමටවත් සුදුසු නොවන බවට හෝටල් සේවකයින් විසින් තමන්ට අවවාද කර තිබූ බවයි.

දියේ ගිලී හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තංගල්ල මූලික රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී,නිගමනය කර ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version