Home උණුසුම් පුවත් රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?

රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව එක්ව කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත (සජබ) ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද සංචාරයකින් අනතුරුවයි.

දැව සංස්ථාවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇත්තේ තේක්ක, මහෝගනී, කොස් වැනි ගස් දාහක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත් කරන බවයි.

තේක්ක ගස්වලට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් මෙම ගස් කැපීමට තීරණය කර ඇති අතර, තවද මෙම ගස්වල කාලය ඉකුත්ව ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙය රජයේ වුවමනාවකට අනුව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවත්, රාජ්‍ය දැව සංස්ථාවේ ඉල්ලීමකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ මෙම වන විනාශය සිදුවන බවත් අරුණශාන්ත මහතා කියා සිටිනවා.

මෙම ක්‍රියාවෙන් ලාභයක් අපේක්ෂා කළද, ඉන් සිදුවන පාරිසරික හානිය වචනවලින් විස්තර කළ නොහැකි බවත්, ඉදිරියේදී කුරුණෑගල නගරයට දැඩි පාරිසරික බලපෑමක් ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙන අතර පෙර කිසිදු රජයක් මෙම වනාන්තරයට හානි කර නොමැති බවද අවධාරණය කර සිටියා.

අරුණශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ, කුරුණෑගල නගරයට ආදරය කරන සියලු දෙනා “ක්ලීන් ශ්‍රී ලංකා” මුවාවෙන් සිදු කෙරෙන මෙම මහා වන විනාශයට එරෙහිව එක්විය යුතු බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version