Home උණුසුම් පුවත් ජාතික පොලිස් කොමිසමට හොරු පනී! ලක්ෂ තුනක බඩු අතුරුදහන්

ජාතික පොලිස් කොමිසමට හොරු පනී! ලක්ෂ තුනක බඩු අතුරුදහන්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ගිණුම් අංශයට අයත් ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මුද්‍රණ යන්ත්‍ර ටෝනර් තොගයක් සොරකම් කර ඇති බවට වාර්තා වනවා.

එම ගබඩාව භාරව කටයුතු කරන කළමනාකරණ සේවා නිලධාරිනිය විසින් මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සිද්ධිය වඩාත් සංකීර්ණ කරමින්, පොලිසියට පැමිණිලි කර නැවත කාර්යාලය වෙත පැමිණි නිලධාරිනියට දැකගන්නට ලැබී ඇත්තේ කොමිෂන් සභා භූමියේ එළිමහනේ කාඩ්බෝඩ් පෙට්ටියක් දමා ගොස් ඇති බවයි.

එම කාඩ්බෝඩ් පෙට්ටිය පරීක්ෂා කිරීමේදී, සොරකම් කරන ලද වර්ගයට අයත් නොවන, වෙනත් වර්ග දෙකකින් යුත්, විවෘත කරන ලද ටෝනර් නවයක් එහි වන බවට නිලධාරිනියට දැකගන්නට ලැබී තිබෙනවා.

පැමිණිලිකාරිය පවසන ආකාරයට අනුව, පසුගිය මැයි මස 09 වන දින පොලිස් කොමිසමේ ගබඩාව වෙත ටෝනර් අටක් ලැබී ඇති අතර, ඉන් එකක් කොමිසමේ අභියාචන අංශය වෙත නිකුත් කර තිබෙනවා.

ඉන් අනතුරුව එදිනම මහජන පැමිණිලි අංශයේ අවශ්‍යතාවයක් සඳහා ටෝනරයක් ලබා දීමට සූදානම් වීමේදීයි ඉතිරි ටෝනර් තොගය අස්ථානගත වී ඇති බවට අනාවරණය වී ඇත්තේ.

මෙසේ සොරකම් කරන ලද එක් ටෝනරයක වටිනාකම රුපියල් 47,200ක් බවට අනාවරණය වී තිබෙනවා.

එසේම, කොමිෂන් සභා පරිශ්‍රයේ තිබී හමුවූ විවෘත කරන ලද ටෝනර් තොගය මීට පෙර ගබඩාව මගින් නිකුත් කරන ලද ඒවාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.

සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව, ගබඩාවෙන් ටෝනර් නිකුත් කිරීමේදී කිසිවිටෙකත් ඒවා විවෘත නොකරන බවයි පැමිණිලිකාරිය විසින් ලබාදුන් අතිරේක ප්‍රකාශයකින් පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් දියත් කොට තිබෙන බව සඳහන්.

එසෙම විමර්ශන සඳහා අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් පරීක්ෂක නිලධාරීන්ගේද සහාය ලබාගෙන තිබෙන බවත්, කොමිෂන් සභා භූමියේ තිබී හමුවූ ටෝනර් නවය සහ කාඩ්බෝඩ් පෙට්ටිය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version