Home උණුසුම් පුවත් බුලත් විටටත් හෙණ වදී! බුලත් මිල අහස උසට යයි

බුලත් විටටත් හෙණ වදී! බුලත් මිල අහස උසට යයි

දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවට වෙළෙඳුන් මැසිවිලි නගනවා.

බුලත් පුවක් වෙළෙඳසැල් හිමිකරුවන් පවසන්නේ ඔවුන්ට පීදුණු බුලත් කොළයක් මිලදී ගන්නට සිදුව ඇත්තේ රුපියල් 10 ක තොග මිලකට බවයි.

රැහැන් බුලත් කොළයක තොග මිල රුපියල් 8ක් සහ කුඩා බුලත් කොළයක තොග මිල රුපියල් 7ක් වශයෙන්ද පවතින බව වාර්තා වනවා.

බුලත් වෙළෙඳුන් පවසන්නේ මේ හේතුවෙන් බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 350 සිට 450 දක්වා මිලකට අළෙවි කිරිමට සිදුව ඇති බවයි.

එසේම බුලත් මිල ඉහළ යෑමට සමගාමීව පුවක් මිලද ඉහළ ගොස් ඇති බැවින් යළිත් වරක් බුලත් විටක විකුණුම් මිල රුපියල් 70ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බවට බුලත් විට වෙළෙඳුන් කියා සිටිනවා.

බුලත් වගාවන්ට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් පලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් මෙසේ බුලත් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, පුවක් පලදාව මේ දිනවල නතර වී ඇති නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි බුලත් පුවක් අලෙවි කරන වෙළෙඳුන් වැඩි දුරටත් කියා සිටින්නේ.

බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවත් බුලත් පුවක් වෙළෙඳුන් මැසිවිලි නගනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version