
පුද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් හරහා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලිමා රජයේ ප්‍රබලයින් තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.
මෙසේ අධිකරණ නියෝග නිකුත් කොට ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන තිදෙනාට එරෙහිවයි.
අදාල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසටටයි අධිකරණය මෙසේ නියෝග නිකුත් කොට තිබෙන්නේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය විසින් අද (25) දින කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම නඩුවට අදාල විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන වශයෙන්, ප්‍රශ්නගත ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහ 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහ සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත්ද වැඩිදුර වාර්තාවක් මගින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එසේම, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් සහතික කරන ලද අමතර ලේඛන 35ක්ද අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉදිරියේදී මහත් ආන්දෝලනයක් ඇති කිරීමට ඉඩකඩක් තිබෙන මෙන්ම, විපක්ෂයේ දැඩි විවේචනයන්ටද බඳුන් වීමට ඉඩ තිබෙන මෙම සිද්ධිය සම්බන්ධ නඩුව එළඹෙන අගෝස්තු මස 22 වන දින නැවත කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s