
මෙරට ඇඟළුම් කර්මාන්තය ඉතා අනතුරුදායක තත්වයකට පත් වීමේ ඉඩකඩක් ඇතැයි ඇඟළුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවනවා.
ඔවුන් මෙසේ කියා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක තීරුබද්ද හේතුවෙන්.
මෙම තීරුබද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, ඇමරිකානු ගැනුම්කරුවන් අඩු තීරුබදු සහන හිමි වෙනත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් පවතින බවයි ඇඟලුම් කර්මාන්තයේ නියුතු වෘත්තිකයින් පෙන්වා දෙන්නේ.
මේ වන විට ඇමරිකාව විසින් වියට්නාමයට 20% ක තීරුබද්දක් පනවා ඇති අතර, ඉන්දියාවට 20% ට වඩා අඩු තීරුබද්දක් පනවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එසේ ඉන්දියාවට අඩු තීරුබද්දක් පැනවීමට හේතුව වන්නේ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඇති වීමට නියමිත වෙළෙඳ ගිවිසුමයි.
මෙවැනි තත්වයක් තුළ, මෙරට ඇඟලුම් කර්මාන්තයට විශාලතම අවදානම එල්ල වන්නේ ඉන්දියාවෙන් බවයි ඇඟලුම් කර්මාන්තකරුවන් කියා සිටින්නේ.
පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7ක් වූ අතර, එයින් 40.04% ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් උපයා ඇත්තේ ඇමරිකාව වෙත සිදු කළ අපනයනවලින්.
එසේම, මෙම වසරේ මුල් මාස 05 තුළ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 02 ක් වන අතර, එයින් ඩොලර් මිලියන 746.53 ක් ඇමරිකානු වෙළෙඳපොළට සිදු කළ අපනයනවලින් උපයා ගත් ආදායමයි.
එවන් තත්වයක් තුළ, ගැනුම්කරුවන් විදේශයන් කරා ඇදී ගියහොත් ඇඟලුම් කර්මාන්තය කඩාවැටීම හරහා මෙරට ආර්ථිකයට සිදු වන බලපෑම සුළුපටු නොවන බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.
ඇමරිකාව මෙරට ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළ වන අතර, ඊට ආදේශකයක් එක රැයින් සෙවිය නොහැකි බවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කොට සිටියා.
ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර, දෙවැනි ප්‍රධාන ඇඟලුම් අපනය වෙළෙඳපොළ වන්නේ එක්සත් රාජධානියයි.
නමුත් ඇමරිකාව සහ එක්සත් රාජධානිය වෙත මෙරටින් සිදුකෙරෙන ඇඟළුම් අපනයනයන් ප්‍රමාණය අතර තුන් ගුණයකට ආසන්න වෙනසක් පවතිනවා.
මේ අතර මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සහ තවත් ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අද මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කොට සිටියා.
එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s