Home උණුසුම් පුවත් හිතූමනාපෙට මිනිස්සුන්ව පොලිසියට ගෙන්නලා හමාරයි! අලුත්ම චක්‍රලේඛය මෙන්න

හිතූමනාපෙට මිනිස්සුන්ව පොලිසියට ගෙන්නලා හමාරයි! අලුත්ම චක්‍රලේඛය මෙන්න

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්ත් කළයුතු විධිමත් ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් වී තිබෙනවා.

මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කොට තිබෙන බව නීතිපතිවරයා විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම් දැනුම්දීම සිදුකෙරුණේ, බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ දින කැඳවූ අවස්ථාවේදී යි.

මෙය සමස්ත පුරවැසියන්ගේම ජයග්‍රහණයක්!

ඉහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් පළවූ ෆේස්බුක් සටහනක්!

සිද්ධිය වාර්තා වන අන්දමට, විදුර රැළපනාව මහතා විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් ඔහුට දැනුම්දීමක් සිදු කොට තිබෙනවා.

එහිදී ඔහු විසින්, තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද, සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා ඇති නමුත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවටයි පෙත්සම්කාර රැළපනාව මහතා චෝදනා නැගුවේ.

එසේ තොරතුරු ලබානොදීම තුළින් පොලිස් නිලධාරින් විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විදුර රැළපනාව මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේ මේ අවස්ථාවේදීයි.

එම චක්‍රලේඛයට අනුව පුද්ගලයින් සාක්ෂිකරුවන් වශයෙන් හෝ සැකකරුවන් වශයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලිස් ස්ථාන වෙත කැඳවීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් සහ ක්‍රියා පටිපාටියක් දැනුම් දී තිබෙනවා.

පුරවැසි සැමගේ දැනුවත්වීම සඳහා, පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛය පහතින්.

Exit mobile version