Home උණුසුම් පුවත් තරුණ කතුන්ට හදිකළ ජපානයේ ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

තරුණ කතුන්ට හදිකළ ජපානයේ ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

2017 වසරේදී ජපානයේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ජපානය විසින් 2022 වසරෙන් පසුව එරට ක්‍රියාත්මක කරන ලද පළමු මරණ දඬුවමද මෙය වන බව සඳහන්වේ.”ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද තකහිරෝ ශිරයිෂි නම් පුද්ගලයෙකු විසින් මෙම ඝාතන එම කාලයේදී සිදුකර ඇති බවත්,එවකට 30 හැවිරිදි වියේ පසුවූ තකහිරෝ විසින් අවුරුදු 15 -26ත් අතර තරුණියන් ඔහුගේ මහල් නිවාසයට ගෙන ගොස් ගෙල සිරකර ඔවුන්ගේ අවයව කපා ඝාතනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

ජපාන පොලීසිය විසින් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයමින් 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකරන ලද විමර්ශනයේදී ජපානයේ සමා නගරයයේදී අදාළ පුද්ගලයාගේ ශරීර කොටස් හමුව තිබූ අතර පසුව මෙම ඝාතන සිදුවීම් අනාවරණය වී ඇත.

ඔහුගේ මහල් නිවාසයේ තිබී සිසිලන යන්ත්‍ර සහ මෙවලම් පෙට්ටිවල බහා තිබූ සිරුරු 9ක කොටස්ද පොලිසියට හමුව තිබේ.

සියදිවි නසා ගැනීමට උත්සාහ කළ තැනැත්තන් නව දෙනෙකු තමන් ඝාතනය කළ බවත් අදාළ පුද්ගලයින් හඳුනා ගනු ලැබුවේ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව හරහා වන බවත් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී පවසා තිබේ.

ඔවුන්ට මිය යාමට තමන් උදව් කළ බවත් ඇතැම් අවස්ථාවලදී තමන් ඔවුන් සමග සිය දිවි නසා ගන්නා බවත් ඔහු පවසා ඇතැයිද වාර්තා වේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ “මට ඇත්තටම වේදනාවෙන් ඉන්න අයට උදව් කරන්න ඕන. කරුණාකර මට ඕනෑම වේලාවක කතා කරන්න.” යනුවෙනි.

නඩු පවරන්නන් විසින් ශිරයිෂිට මරණ දඬුවම ඉල්ලා සිටියද ඔහුගේ නීතීඥයින් විසින් මරා දැමීමට වින්දිතයින් අවසර ලබා දී ඇති බව පවසා ඇති අතර, ඔහුගේ මානසික තත්ත්වය තක්සේරු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් වින්දිතයින්ගේ කැමැත්තෙන් තොරව තමා ඔවුන්ව ඝාතනය කළ බව ශිරයිෂි පසුව අනාවරණය කර තිබේ.

ඝාතකයා තමන්ගේ ලිංගික සහ මූල්‍ය ආශාවන් තෘප්තිමත් කර ගැනීමේ සැබෑ ආත්මාර්ථකාමී හේතුව නිසා කටයුතු කර ඇති බව ශිරයිෂිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ ජපානයේ අධිකරණ අමාත්‍ය කීසුකේ සුසුකි පවසා තිබේ.

Exit mobile version