බ්‍රසීලියානු තරුණියක වන ජූලියානා මැරින්ස් පසුගිය සෙනසුරාදා උදෑසන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කන්දක් වන රින්ජානි කන්දේ ප්‍රසිද්ධ ආවාට විල නැරඹීම සඳහා කළ සංචාරයකදී ලිස්සා ගොස් කඳු බෑවුමකින් පහළට ඇද වැටුණි.
ඇය ගිනි කන්ද තුල ඉතා දැඩි ගැඹුරකට වැටී තිබූ අතර ඩ්‍රෝන දර්ශන මගින් පෙනුනේ ඇය අඩි 1,000 කට වඩා වැඩි බෑවුමකින් පහළට ඇද වැටුණු නමුත් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි. මේ සමග රින්ජානි ජාතික වනෝද්‍යානය විසින් ඉකුත් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින්, මැරින්ස් මීටර් 500 ක් ගැඹුරින් පිහිටි පාෂාණ පර්වතයක සිරවී සිටින බවට නිවේදනය කරන ලදී.
ඇය වැටී සිටි ගැඹුර, මතුපිට සිට අඩි 1,600ක් පමණ වූ අතර, සෙනසුරාදා ඇගේ මුල් වැටීමෙන් පසු ඈ යළිත් කුමක් හෝ නිසා ගිනි කන්ද තුළට තව තවත් ලිස්සා ගොස් ඇති බව වාර්තා විය.
ඇය ගිනි කන්දේ සිටි තුන්වන දිනයේදී ඇගේ තත්වය අපැහැදිලි වූ අතර දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබිණි. නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරයෙන් ඇය වෙත ළඟා වීමට ගත් උත්සාහයන් අත්හිටුවන්නට සිදුව තිබේ.
පසුව කඳු නගින්නන් විසින් කරන ලද ගලවා ගැනීමේ උත්සාහයන් භූමි ප්‍රදේශය සහ ගතික කාලගුණය හේතුවෙන් ව්‍යර්ථ වූ බව උද්‍යාන බලධාරීන් වාර්තා කොට තිබුණි.
“ආරක්ෂාව සඳහා, ගලවා ගැනීමේ කණ්ඩායම ආරක්ෂිත ස්ථානයකට ආපසු අරන් යන්න අපිට සිද්ධ වුනා” උද්‍යානය බාර නිලධාරීන් පවසා තිබිණි.
ජූලියානා වෙත ළඟා වීමට මීටර් 350 ක් ඉතිරිව තිබියදී ගලවා ගැනීමේ කණ්ඩායම් වලට පසුබසින්නට සිදු වූ අතර ඇගේ පවුලේ අය ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයව ගලවා ගැනීමේ උත්සාහයන් පිළිබඳ දිගින් දිගටම තොරතුරු යාවත්කාලීන කරමින් සිටියහ. ඇතැම් ඩ්‍රෝන වීඩීයෝ වල ඈ ජීවතුන් අතර සිටින බවට සාක්ෂි හඟවමින් ඇගේ චලනයන් දක්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
නමුත් අවසානයේ ශරීරයේ ඇතිවූ තුවාල හා කුසගින්න විසින් ඇයව කෙමෙන් පියවි ලෝකෙන් ඈතට රැගෙන යමින් පැවති අතර, කිසිවෙකු නොදැක තනිවම, ගිනි කන්දක් තුළ, තුවාල වල වේදනාව ඉවසමින් සිටි ජූලියානා, දින 4ක් පුරා කෙරුනු ගලවා ගැනීම් මෙහෙයුම් ව්‍යර්ථ කරමින් සිව්වන දිනයේ සිය ජීවිතය අත් හැර ගියාය.