කවි නිමිත්ත
දහ අට වියැති හා විසිතුන් වියැති අයියා මලෝ දෙදෙනා, දහතුන් වියැති නැඟණියට අතවර කරලා…….
ඇය වස පානය කර රෝහල්ගත කළ මොහොතේ මේ ශෝචනීය සිද්ධිය අනාවරණය වී ඇත.
අක්ක යි, අයිය යි
නංගි යි, මල්ලි යි
පේනවනෙ …..මං….
මං මැද
සුව යහන් රජ බොජුන්
තිබුණෙ නෑ අපට නම්
ඒ සොඳුරු ළමා කාලයේ.
කන්ද කපා එන කළුවර
තාත්තාව ගෙදර කැන්දන් ආව ම
එක ම රස ගුලාවක්
අපේ පුංචි මාළිගාව
ඉස්තෝප්පුවෙ ලණු ඇඳ තාත්තාට
එළනවා සාලයේ දිගට
වංකගිරි රටා දැමූ පැදුරු
අපේ අම්මගෙ අතින් වියපු….
නින්දට යන්නේ ඔක්කොම
අම්මගෙන් සාරියක් පොරවාගෙන…..
එදා අපේ රණ්ඩුව
බෙදා ගන්න
අම්මගෙ ” උණුහුම “
අම්මාව මැදි කර ගෙන ,
නින්ද යනකල්
රස කතා…කවි..සින්දු…කතන්දර
තොරක් නෑ….
ඉස්සර වෙලා ම ,
නිදි දෙව්දුව කතා කළේ කාට දැ යි
දන්නේ නෑ
කවුරුවත් ම…..
ළපැටි වියෙන් ළමා වියට
ළමා වියෙන් යොවුන් වියට
පිය මං කරනා විට,
අක්ක යි, නංගි යි , අම්ම යි
මම යි
ගෙදර එක ම කාමරයේ…
අයිය යි, මල්ලි යි දෙන්නා
පුරුදු විදියට සාලයේ….
“නපුරු හීනයක් දැක්කා
මට හරි බයයි තාත්තේ “
සමහරදාට අයියා
කොට්ටය යි, පොරවනයයි අර ගෙන
තාත්තාට ගුළි වුණු හැටි…
” විදුලි කොටනවා හොඳට ම,
ගොරවනවා නොසෑහෙන්න,
මටත් තනියි අම්මේ…”
මල්ලි ඇවිත් ගුළි වුණු හැටි
අම්මගෙන් තුරුළේ…..
ඒ සුන්දර මිහිරි මතක
අද ඊයේ වාගේ
හිත යට කැරකේ…
ඉස්කෝලේ යන එන කොට
මුර භටයින් වුණේ
අයිය යි, මල්ලි යි දෙන්නා..
” අම්මෙ…අම්මෙ …අර කොල්ලා,
බලනව නම් හරිම වැඩි යි
අපෙ අක්කා දිහා…”
ගෙදරට පය තියන කොට ම
අම්මගෙ කන් දෙක පිරෙනව
අක්කව රැක ගන්න කියන
කේළම් වරුසාවෙන් මල්ලිගෙ…
“කොල්ලො එක්ක කතා කරල
අහුවුණොතින් බලා ගෙනයි “
මන්තරයක් වගෙ නිතර ම
කියවිල්ල අයියගේ ….
” මුන් දෙන්නගෙන්
මොන කරදරයක් ද මන්දා
හැරෙන්ඩවත් නෑ නේ මට ……”
ජීවිතේ දිග පළල හරියට ම
නොදැන හිටි මල් වියේ
එදා…..
යටි සිතින් බැන්නාට
සමාවෙන්න අයියණ්ඩියෙ…..
සමාවෙන්න මලයණ්ඩියෙ….
කුසුම් පැලවත්ත
විශ්‍රාමික නි.විදුහල්පතිනි