ත්‍රිපෝෂ සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ආනයනයට අවසර

9

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වනතුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දෙනු ලබන අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගැනේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 18,000ක් වන අතර, මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,500කි.