ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් මස 8 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම් සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙසයි.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව නවයක් විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ නාමයෝජනාව ව්‍යවස්ථා සභාව තුළ බහුතර ඡන්දයෙන් සම්මත වී නොතිබියදී ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටී.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, තෙන්නකෝන් පොලිස්පතිවරයා අවශ්‍යයෙන් පත්කිරීමේ තීරණය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරයේ බලතල සහ රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එම අතුරුතහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණය නියෝගයේ සඳහන් කර ඇත.