ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ සමිදු යළි රිමාන්ඩ්

6

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සමිඳු දිල්ෂාන් පියුමංග නැමති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම්

භාරයේ පසු වූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා මේ මස 23 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළට ඉදිරිපත් කරන ලදී.

සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාරය තුළදී මෙම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.