2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇති බව වාර්තාවේ.
2025 පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතා විසින් විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අද (19) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති බව සඳහන්වේ.
අදාල තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතු කෝරාල යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.