
වව්නියාව – කූමාන්කුලම ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිල අසල සිදු වූ යතුරුපැදි අනතුරුකින් පුද්ගලයෙකු මියයාමත් සමග ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඇති වූ උණුසුම් සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිසිය විසින් අදාල යතුරුපැදිය ලුහුබැද පැමිණීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර පොලිසිය පවසන්නේ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් මෙම සිදුවීම ගම්වාසීන් විසින් නිර්මාණය කර තමන්ට පහදුන් බවය.
මෙහිදී පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබුණා.
වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේ යතුරුපැදිකරුවකු වැටී සිටින බවට, ප්‍රදේශයේ රථවාහන රාජකාරී සිදුකරමින් සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු දැනුම්දී තිබෙනවා.ඒ අනුව එම නිලධාරීන් සිව්දෙනා එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලිසිය පවසනවා.
අදාළ පුද්ගලයා ගමන්කරමින් තිබූ යතුරුපැදියේ රෝදයක් තුළට පොලීසිය මුගුරක් දැමීම නිසා ඔහු ඇදවැටී මියගොස් ඇති බව පහර දුන් පිරිස පවසා සිටිනවා.
නමුත් එලෙස සිදුවූවා නම් රෝදයට හානි සිදුවිය යුතු බවත්, අදාළ යතුරුපැදියේ රෝදයට කිසිඳු හානියක් සිදුවී නොමැති බවත් පොලිසිය පවසා සිටිනවා.
අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකායද පැමිණ තිබුණා.
යතුරුපැදි අනතුරින් මෙලෙස මියගොස් තිබුණේ, 59 හැවිරිදි වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතයි.