Home උණුසුම් පුවත් රජයේ මුද්‍රණාලය ප්‍රමාදයි! කෙහෙළියට එරෙහි අධිචෝදනා කල් යයි!

රජයේ මුද්‍රණාලය ප්‍රමාදයි! කෙහෙළියට එරෙහි අධිචෝදනා කල් යයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාරදීමේ නඩු කටයුත්ත, කොළඹ ස්ථිර මහාධිකරණය විසින් කල්දමා තිබෙනවා.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ ඉල්ලීමකට අනුවයි.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකර ඇතත්, නඩු කටයුතු සඳහා අවශ්‍ය ඇමුණුම් තවමත් ඉදිරිපත් කර නොමැති බවත්, ඇමුණුම් සම්පූර්ණ කර භාරදීමට දින 21 ක් පමණ ගතවනු ඇතැයි රජයේ මුද්‍රණාලය දන්වා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් අධිකරණය හමුවේ කියා සිටි අතර මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඒ අනුවයි.

ඒ අනුව, මෙම කාලසීමාවෙන් පසුව නඩුව විභාගයට ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ඉල්ලා සිටින ලද අතර, එම ඉල්ලීමට ඉඩ ලබාදෙමින් ගරු අධිකරණය විසින් අදාල නඩුව එළඹෙන සැප්තැම්බර් 16 වන දින නැවත කැඳවීමටයි නියෝග කොට ඇත්තේ.

Exit mobile version