Home උණුසුම් පුවත් කෙසෙල්බද්දර පද්මේට මැලේසියාවේදී වැඩ වරදියි!

කෙසෙල්බද්දර පද්මේට මැලේසියාවේදී වැඩ වරදියි!

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරු බවට පැවසෙන, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් “කෙහෙල්බද්දර පද්මේ” මැලේසියානු පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමග සිටි සංජීව ඝාතනය මෙහෙයවීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා බවට සැලකෙන “කමාන්ඩෝ සලින්ත” නම් අපරාධ කල්ලි සාමාජිකයාද මේ සමග අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතන රැසකට සම්බන්ධ මෙම සැකකරු සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කොට තිබුණා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදුන් තොරතුරු මත මැලේසියාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වුණත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කොට නැහැ.

2018 වසරේදී තම පියා වෙඩි තබා ඝාතනය කිරීම කෙහෙල්බද්දර පද්මේ අපරාධ ලෝකයට පිවිසීමට හේතු වූ ප්‍රධාන කරුණ ලෙස සඳහන් වනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ගනේමුල්ලේ සංජීවට සහ “පස් පොඩ්ඩා” හෙවත් සමන් රෝහිත පෙරේරා යන අයටයි.

සිය පියාගේ ඝාතනයෙන් පසු ඩුබායි වෙත පලාගිය කෙහෙල්බද්දර පද්මේ, එතැන් සිට මෙරට ඝාතන ඇතුළු අපරාධ රැසක් මෙහෙයවා ඇති බවට පැවසෙනවා.

Exit mobile version