පාතාලයට ෂොට් එක දෙන්න අලුත් පොලිස්පති වැඩ අල්ලයි!

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටිනවා.

37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් පොලිස්පතිවරයා සඳහන් කළේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා වත්මන් නීති තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව,වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.

වීරසූරිය මහතා විශේෂයෙන් සඳහන් කළේ ඉහළ ගොස් ඇති වෙඩි තැබීම් ඇතුළු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පවතින නීතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් යොදමින් සිටින බවයි.

මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස විදෙස්ගතව සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ මෙරට සිටින ගෝලයන් ක්‍රියාත්මක වන බවත්, ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අය මෙන්ම පොලිසියේම ඇතැම් නිලධාරීන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් ඔහු අනාවරණය කලා.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තහවුරු වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්,වරදකරුවන් වුවහොත් වහාම සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s