අතුරලියේ රතන හිමි පොලිසියත් එක්ක හැංගිමුත්තම් කෙළියේ!

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 07 වැනිදා රාත්‍රියේ රාජගිරියේ පිහිටි අතුරලියේ රතන හිමි වැඩවෙසෙන සඳහම් සෙවණට ගොස් තිබෙනවා.

ඒ, පැහැරගෙන ගොස් බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගැනීම සඳහායි.

2020 වසරේදී අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදකාරී තත්වය අතරේ, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් බියගැන්වූ බවටයි රතන හිමියන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විට රතන හිමියන් එහි රැඳී නොසිටි අතර, උන්වහන්සේ සිය ජංගම දුරකථනයද ක්‍රියා විරහිත කර සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.

වසර පහකට පමණ ඉහත සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් පළමු සැකකරු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කණ්ඩලම නන්දසීහ නමින් පැවිදිව සිට පසුව සිවුරු හැර ගිය අයෙකු බවයි පැවසෙන්නේ.

අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජූලි මස 20 වනදායි.

තමාව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ගත් බවත්, ඒ හරහා අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබාදීමට කටයුතු කළ බවත් පැමිණිලිකාර විමලතිස්ස හිමියන්ගේ පැමිණිල්ලේ සඳහන් වනවා.

පැහැරගැනීම සිදු වූ අවස්ථාවේ සිට රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය ලෙස දුරකථන සංවාද හුවමාරු වී ඇති බවට, එම පැමිණිල්ල ප්‍රකාරව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයේදී තොරතුරු හෙළිව තිබෙනවා.

එසේම, මෙම පැහැරගැනීමට ධුරයෙන් පහ කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ බවටද විමලතිස්ස හිමියන් සිය පැමිණිල්ලේ සඳහන් කොට ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දේශබන්දු තෙන්නකෝන්ගෙන් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස්ඇප් (WhatsApp) සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s