කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නයක්!

කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කර දුන් බවට සැකකෙරෙන හිටපු අතිරේක රෙජිස්ට්‍රාර්වරියක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට ඇත්තේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ දෝන රුවිනි වාසනා නැමැති අතිරේක රෙජිස්ට්‍රාර්වයක්.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ විස්දෙස්ගතවීම සඳහා භාවිතා කළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කරගෙන ඇත්තේ මෙම ව්‍යාජ උප්පැන්න සහතිකය ඉදිරිපත් කරමින් බවයි පැවසෙන්නේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකාරිය ඊයේ සවස් වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙම කාන්තාව විසින් “මන්දිරම් පද්මසිරි පෙරේරා” යන ව්‍යාජ නම යොදමින් ව්‍යාජ ගොනු අංකයක්ද සකස් කොට 2024 ජනවාරි මාසයේදී කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ උපැන්නන්න සහතිකයක් නිකුත් කොට ඇති බව එහිදී කරුණු අනාවරණය වුණා.

සැකකාර කාන්තාව විසින් මෙම ව්‍යාජ උප්පැන්න සහතිකයට අමතරව, ව්‍යාජ ගොනු අංක භාවිත කරමින් තවත් ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඇති බවත්, එම වංචනික ක්‍රියා සඳහා උසස් නිලධාරීන්ගේ මුද්‍රා පවා වංචනිකව භාවිත කර ඇති බවත් විමර්ශන නිලධාරීන් හෙළි කොට සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින්, සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුවයි ඇය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s