හිරේ ගිහිනුත් නිවනක් නෑ! කැරම් බෝඩ් ඇමති ජෝඩුවට තවත් නඩුවක් (VIDEO)

මේ වන විටත් බන්ධනාගාරගත කොට සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව, පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් තවත් නඩුවක් සඳහා අධි චෝදනා බාරදී තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා, කැරම්බෝඩ් හා දාම් බෝඩ් ආනයනය කොට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඒවා බෙදා දීම හරහා රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනුයි මෙම චෝදනා එල්ල වී ඇත්තේ.

නීතිපතිවරයා විසින් ගොනු කොට තිබෙන මෙම නඩුවේ අධිචෝදනා පත්‍ර භාරදීම අද (21) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ සිදුවුණා.

හිටපු අමාත්‍යවරුන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිද මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කොට තිබෙනවා.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළා.

මෙම ඇප ලබාදීම හරහා හිටපු ඇමතිවරුන් මේ වන විට විඳිමින් සිටින සිරදඬුවමෙහි කිසිදු වෙනසක් වන්නේ නැහැ.

ඔවුන්ට සිරදඬුවම් නියම කරනු ලැබුවේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේය යන චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

එකම චෝදනාවකට දෙවරක් නඩු පවරා දඬුවම් නියම කළ නොහැකි බවට පවසමින් විත්තියේ නීතීඥවරුන් අද අධිකරණයේදී විරෝධතා එල්ල කළ බව වාර්තා වුණා.

එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරයා ප්‍රකාශ කළේ මෙම නඩු දෙකට අදාළ සිද්ධිමය කරුණු බැලූ බැල්මට එකක් බව පෙනුනත්, දෙවන නඩුව තුළින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සහ චෝදනා එල්ල කිරීමේ පදනම දැනට ඔවුන්ට සිරදඬුවම් නියම කරන ලද නඩු කටයුත්තට වඩා වෙනස් බවයි.

කෙසේ වෙතත්, එළඹෙන සැප්තැම්බර් මස 04 වැනිදාට විත්තියේ මූලික විරෝධතා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.

මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය එම මූල්ක විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය හමුවේ පැහැදිලි කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ.

මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස ලේඛන 11 ක් නම් කර තිබෙන අතර, සාක්ෂිකරුවන් සංඛ්‍යාව 42ක් බවද වාර්තා වනවා.

හිටපු ඇමති ජෝඩුව උසාවි ආපු විදිහ පහතින් නරඹන්න

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s