අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු පුටුවක්! සම්මානත් හම්බ වෙලා!

කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සිංගප්පූරුවේ සමාගමක ඉහළ නිලයක සේවයේ යෙදී සිටින බවට වාර්තා වී තිබෙනවා.

ඔහු “විස්ඩම් ඕක්” නම් මෙම ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමෙහි ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බවටයි වාර්තා වන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත අනාවරණය කොට තිබෙනවා.

ආයතන සහ පුද්ගලයන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශන සේවා සැපයීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වන බවයි පැවසෙන්නේ.

2016 වසරේදී ස්ථාපිත කරන ලද මෙම සමාගම, සිංගප්පූරුව සහ හොංකොං යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන්නක්.

දැනට මෙම සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික ආයෝජන කළමනාකරණය කරන බවද සඳහන් වනවා.

මෙම සමාගම සඳහා ලබා දී ඇති සේවය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ද හිමිව ඇති බවයි පැවසෙන්නේ.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු අවට පැවසෙන අර්ජුන් මහේන්ද්‍රන් යළි මෙරටට ගෙන්වාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුණා.

එහෙත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් පැන නැගුණු අතර සිංගප්පූරු පුරවැසියෙකු ලෙස එරට රජයේ රැකවරණය ලබමින් අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු බාධාවකින් තොරව සිය වෘත්තීය කටයුතු පවත්වාගෙන යමින් සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s