බාල බෙහෙත් මෙගා ගැහිලි අස්සේ පයිප්ප බට වලින් පොකට් මනිත් ගහලා! කෙහෙළියගේ තවත් නඩුවක් කැඳවයි

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

මෙම නඩුව පවරා ඇත්තේ GI පයිප්ප බට මිලදී ගැනීමක් සම්බන්ධයෙන්.

මෙම නඩුව ඉකුත් යහපාලන සමයේ ගොනු කරන ලද නඩුවක් බවයි පැවසෙන්නේ.

කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2014 වසරේ නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රූපවාහිනී සංස්ථාවේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා බවට පවසමින්, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රජයේ මුදල් රුපියල් 990,000ක මුදලක් වැය කරමින් GI පයිප්ප බට 600 ක් මිලදී ගැනීම හරහා රජයට පාඩු කිරී සිදු කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යටතේ අල්ලස් පනතේ දූෂණ නමැති වරද සිදුකොට ඇති බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසිනුයි මෙම නඩුව ගොනුකොට තිබුණේ.

අදාළ නඩුව මුලින්ම කැඳවනු ලැබුවේ 2022 වසරේදී.

එම අවස්ථාවේ මතුවූ යම් නීතිමය කරුණක් හේතුවෙන් නඩුව ඉල්ලා අස්‌කර ගැනීමට අල්ලස් කොමිසමට සිදුව තිබුණා.

ඒ මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම ලිඛිත අනුමැතිය ලබාදී නොමැති බව සඳහන් කරමින්.

ඒ අනුව මෙම නඩුව නැවත පැවරීමේ ඉඩ ප්‍රස්ථාවට යටත්ව ඉල්ලා අස් කර ගැනීමටයි අල්ලස් කොමිසම කටයුතු කොට තිබුණේ.

පසුව ඉකුත් වසරේ මෙම නඩුව නැවත කැඳවනු ලැබූ අතර, මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මුල් අවස්ථාවේදීම විත්තියේ නීතීඥවරුන් විසින් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහෙත් එම විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව විභාගයට ගැනීමට තීන්දු කොට තිබුණා.

ඒ අනුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ යළි කැඳවුණේ 2022 වසරේ සිට ඉදිරියට ආ නඩුවක්.

මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින්, එම සාක්ෂි මතම පදනම්ව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු ඊයේ එකඟ වුණා.

ඒ අනුව, වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 28 වැනිදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කරනු ලැබුවා.

එසේම, එදිනට නඩුවේ සාක්ෂිකරුවන්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරිය විසින් නියෝග කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s