දුමින්ද දිසානායකට ඇප!

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කර තිබුණේ අද (14) දිනයේ දුමින්ද දිසානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ශරීර ඇප ලබාදෙන පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසත් ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන බවටත් නියෝග කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වුවත් සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බව මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.