අලුත්කඩේ අධිකරණයට ප්‍රහාරයක්

කොළඹ අලුත්කඩේ මහාධිකරණ අංක අටෙහි ඉදිරිපස මාර්ගය අසල කොටසට 09 වනදා රාත්‍රියේ කිසිවකු ගල් ප්‍රහාරයක් එල්ලකර තිබෙන බවට එහි ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියකු කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ගඩොල් කැබලිවලින් සහ ගල්වලින් මෙම පහරදීම කර ඇති අතර අධිකරණ ශාලාවට ඇතුළුවීමට ඇති දොරටුවට සහ ජනේලයකට මෙම ගල් ප්‍රහාරය වැදී විදුරු බිඳී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සඳහන් කරනවා.

පෞද්ගලික ආරක්ෂක සේවාවකට අනුයුක්තව අධිකරණ සංකීර්ණයේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට ශබ්දයක් ඇසී ගොස් බලන විට මේ බව දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා . කෙසේ වෙතත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට යන විට ගල්වලින් පහර දුන් අය දක්නට නොලැබුණු බව ද ඔවුන් පොලිසියට පවසා තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සඳහන්.