හිරේ ඉන්න දොස්තර දුවගේ දවස් පැටළෙයි! අද තීරණාත්මක තීන්දුවක්?

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි චෝදනා ලබා, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට ඇප ලබා දෙනවාද? නැද්ද? යන කරුණ සම්බන්ධයෙන් වන තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද 21ක් වියැති මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් ජූලි 07 දින, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග ලබා දී තිබෙනවා.

ඉකුත් නඩු විභාගයේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ, ඇය කිසිවෙකුටත් කිසිදු මරණ තර්ජනයක් සිදු කොට නොමැති බවයි.

ඇය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබීමෙන් පසුව විදේශගතව අධ්‍යාපනය ලබන ඇයට සිංහල භාෂාව හැසිරවීම තරමක් අපහසු බවද විත්තියේ නීතීඥයා කියා සිටියා.

දැඩි ආතතියකට ලක්ව සිටි මෙම සැකකාරිය “මම මැරෙනවා” යනුවෙන් කරන ලද ප්‍රකාශය අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැරදි ලෙස වටහා ගෙන තිබෙන බවද විත්තිය පාර්ශ්වයෙන් වැඩි දුරටත් සඳහන් වුණා.

කිසිසේත්ම තමා අතින් මෙවැනි තර්ජනය කිරීමක් සිදු නොවුණු බවත්, අල්ලස් කොමිසමට හෝ අධිකරණයට තර්ජනය කිරීමේ චේතනාවක් තමා තුළ නොමැති බවත් සඳහන් කරමින් කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර, ඊමේල් මාර්ගයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක්ද යොමු කොට තිබෙන බවත් පැමිණිල්ල පාර්ශ්වයෙන් අධිකරණයේදී අනාවරණය වුණා.

එහෙත්, අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය කුරුඳුවත්ත පොලිසියට එම ප්‍රකාශය ලබාදී තිබෙන්නේ ඉරිදා දිනයේ බවයි.

එම ප්‍රකාශයට විත්තියේ නීතීඥයා සිය දැඩි විරෝධය පළ කර සිටි අතර සැකකාර දියණිය එම ප්‍රකාශය කරනු ලැබුවේ ඉකුත් සිකුරාදා බව නැවතත් සහතික කොට සිටියා.

එසේම, අල්ලස් කොමිසම විසින් අධිකරණය නොමග යවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසද විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.