පාපොච්චාරණය

කිරි අම්මයි, කිරි අත්තයි
මාව හුරතල් කරපු හැටි
හීනයක් වගේ
ඇඳී මැකී යයි
මගෙ හිතේ
සමහර වෙලාවට…….

කවදා කොහොම ආවාදැයි
ටවුමේ කුලී ගෙදරට
ප්‍රශ්නයක් මට
අදත් ……..

ඊට පස්සෙ…
ඩේ කෙයාර්
මොන්ටිසෝරි
ඉස්කෝලේ
අමතර පංති
ඒ විතරක් යැ……
ගෙදර ආව ම
ඔන්ලයින්……

“දිග සති අන්තයක් අම්මෙ
අපිත් යමුද ට්‍රිප් එකක් “

“මොන ට්‍රිප්ද ළමයො
ඉගෙන ගන්න කාලෙ
ඉගෙන ගන්න ඕන
ඊට පස්සෙ බැරි යැ
රවුම් ගහන්න ලෝකෙ වටේ
ඇති පදම්…..

” මේ සති අන්තය
කීයක් හරි වැඩිපුර
අතට ගන්න
තියෙන වෙලාව
පස්සෙ බැරි යැ “
තාත්තාගෙ උත්තරය…….

ඒ වුණාට……
මගෙ යාළුවො
ගිය,ගිය තැන් වර්ණනාව
“මේ බලන්න අපේ ෆැමිලි ට්‍රිප් එක”
එතකොට මම ගොළු වෙනවා
හිතට දුකක් දැනෙනවා

දරාගන්න බැරි හින්දා
මං යන්නම යනවා.

කුසුම් පැලවත්ත
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනි