
උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ ගෙන් පහර කෑ බව කියන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර තිබේ.
මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර ඇත.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීමට ජනවාරි මස 28වනදා කැඳවන ලෙස මෙහිදී දින නියම කර තිබේ.
කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
අදාළ ගුරුවරියගේ හිමිකාරීත්වය ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු තමන් සේවය කළ බවත්,එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබාදෙන ලෙස පවසා, තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාරදුන් බවත් පෙත්සම්කරු පවසා සිටියේය.
මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර ඉකුත් මැයි මස 6 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළකර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කළේය.
පසුව අදාළ තරුණියගේ දෙමව්පියන්ද කැඳවා ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් එල්ල කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
අදාළ ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව ඉකුත් මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත්, පැය 48ක් ගතවනතුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවටත් ඔහු චෝදනා කර සිටී.
සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ වෙනුවෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.