තරුණයාගේ මළගමෙන් පසුව කහවත්ත ගිනි ඇවිලෙයි! ගම්වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.

එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.

පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ගමේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පසුබිමක එම තරුණයාගේ අවසන් කටයුතුවලින් පසු පොලීසිය සහ ගම්වාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ප්‍රහාර හමුවේ පොලිසිය ප්‍රදේශයෙන් ඉවත් වී තිබේ.

පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර අදාළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බවද වාර්තාවේ.