අර්චුනාට අද දුන් අධිකරණ නියෝගය!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් අද (02) අවසර ලබා දුන්නේය.

එහෙත්, පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්චුනා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවට විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබුණි.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් අධිකරණය හමුවේ සඳහන් කළේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවයි.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

එහෙත් අර්ච්චුනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න සඳහන් කළේ, සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිත වැඩ තහනමකට ලක්ව සිටි බැවින්, එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවයි.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර මෙම පෙත්සම අගෝස්තු මස 01 වනදා කැඳවීමට නියමිතය.