යෝෂිත සහ ඩේසි ආච්චිට අධි චෝදනා! (VIDEO | Updated)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆ්‍රොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහාය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවූ අතර, cඕදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කරන ලදී.

එසේම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කියාසිටියේ මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් එළඹෙන 11 වනදා අංක එක මහාධිකරණයේ කැඳවීමට නියමිත බවයි.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවයි.

මෙම නඩුව අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙසට විනිසුරුවරයා විසින් නියම කරන ලදී.

අද පැවති නඩු විභාගය සඳහා ඔවුන් අධිකරණයක පැමිණි අයුරු පහතින් නරඹන්න.