
නාග ලොවින් පැමිණී සෘෂීවරයකු බව කියමින් රිටිගල අධි සංවේදී රක්ෂිතයේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ සහායකයා කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වන සටත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ චෝදනා කිහිපකට අදාළවයි.
රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොඩිගල කන්ද ප්රදේශයට අනවසරයෙන් ඇතුල් වී අතරමංව සිටි පුද්ගලයින් දෙදෙනෙකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් (26) බේරාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
තමන් නාග ලොවින් පැමිණී සෘෂී වරයකු බවත්,සෙසු පුද්ගලයා තමන්ගේ ආවතේවකරු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණී බවත් වනජීවී නිලධාරීන්ගේ ප්රශ්න කිරීම් වලදී ඔහු පවසා තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 35ස් හැවිරිදි වියේ පසුවන අනුරාධපුර, රාජාංගනය හා මාතලේ, ලග්ගල ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.ඇතුල්වීම තහනම් බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද නොසලකා ඔවුන් රක්ෂීතයට ඇතුල් වී කොඩිගල කන්ද තරණය කර තිබේ.
මොවුන් සන්තකයේ තිබී ගිණී පෙට්ටි, ලයිටර් හා ඡායාරූප හා වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක්, කුඩා ප්රමාණයේ උඩැක්කියක් ඇතුලු භාණ්ඩ කිහිපයක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහගේ උපදෙස් අනුව වනසත්ව අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, ක්ෂේත්ර සහයක ඩී.සි. බුද්ධීක, රියදුරු තුෂාර බණ්ඩාර ඇතුලු නිලධාරීන් සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර නඩු විභාගය ඉදිරියට ක්රියාත්මක් බවත් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවද සඳහන්වේ.