එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දිවයිනට

9

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටින්නේ දිවයිනට පැමිණි ඒ මහතා එළැඹෙන 26 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බවයි.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ.

දිවයිනට පැමිණි ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිත අතර විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

මීට අමතරව යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.