දුම්රිය වර්ජනය කල් ගිහින්

26

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා ඇති බව වාර්තා වේ.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.

මෙහිදී ඇතැම් කරුණු සඳහා අද දිනය තුළම විසඳුම් හිමිවූ බව ද පැවසු ඒ මහතා, අනෙකුත් කරුණු සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බව ද කියා සිටියේය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒ අනුව මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට එකඟවූ බවයි.

ඉල්ලීම් 11ක් ඉදිරිපත් කර ඇති අතර, ඉන් ඉල්ලීම් 7කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බව ද දුමින්ද ප්‍රසාද් මහතා කියා සිටියේය.