අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ ක්‍රමය අලුත් වෙයි

12

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසා සිටී.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම- කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම සලසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්වේ.

රජයේ ඩිජිටල් කරන පද්ධතියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මූලික කර ගනිමින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසා සිටී.