සූරියවැවදී STF සමග ඇති වූ වෙඩි හුවමාරුවේ අලුත්ම තොරතුරු

හම්බන්තොට, සූරියවැව, වැවේගම වනගත ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ සැකකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වන අතර වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙන බවද සඳහන් වෙනවා.

අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිට ඇති අතර, ඉන් එක් අයෙකු වෙඩි හුවමාරුව මධ්‍යයේ පළා ගොස් ඇති බව වාර්තා වන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර ඇති බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා, මෑතකදී කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුගේ පුත්‍රයාව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘බේරුවල කෝසල’ නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය ජූලි 31 වනදා කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී 23 හැවිරිදි අරුණ මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදීය.

සැකකරු සූරියවැව, වැවේගම කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මියගිය දොන් කෝසල හෙවත් ‘බේරුවල කෝසල’ මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජූලි 31 වනදා අලුයම 5.15ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා අරුණ මෙන්ඩිස් ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රධාන වෙඩික්කරු මොහු බවට පොලිසිය හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සංචාරක මගපෙන්වන්නෙකු ලෙස සේවය කළ අරුණ මෙන්ඩිස්, සිය පියාට අයත් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන ඒම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට මුල් වන්නට ඇති බවට පොලිසිය මූලික විමර්ශනවලදී සැක පළ කර තිබුනා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s