රනිල් රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අද (22) පස්වරුවේ නියෝග කළා.

රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් හිටපු ජනාධිපතිවරයා අද දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත ඔහු පැමිණි අවස්ථාවේදීය.

2023 වසරේදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යෑමේදී රාජ්‍ය මුදල් යොදාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වෙනවා.
හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s