අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් මස 26 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) යළි නොතීසි නිකුත් කළා.

ඒ මහ බැංකු අධිපතිවරයාව සිටියදී සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියකට අදාලවයි.

අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියෝග කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට 2024 වසරේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ අතර අදාළ නොතීසීය ප්‍රකාරව කටයුතු කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවක් වැඩිදුර සලකා බැලීමෙන් පසුව මෙසේ යළි නොතීසි නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල 2024 වසරේදි ගොනුකර ඇත්තේ,2015 පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් මිලියන 1000 ක බැඳුම්කර නිකුත් කිරීමට ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා තිබියදී ,එම ගණන ඉක්මවා යමින් රුපියල් මිලියන 10058 බැඳුම්කර වසර තිහක කාලයක් සඳහා වැඩි පොලී අනුපාතයක් යටතේ නිකුත් කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කිරීම,එම බැඳුම්කර සිය දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම ට නිකුත් කරන ලෙසට මහ බැංකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කිරීම හා එසේ සිදුකරමින් රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් රජයට සිදු කිරීමෙන්, අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නම් වරද සිදුකිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව පවසමින්.

සැකකරු 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවද,මහ බැංකු බැඳුම්කර නිකුතුව සඳහා ප්‍රාථමික ගැනුම්කරුවන් 16 දෙනෙකුගෙන් ලන්සු කැඳවා තිබියදී, එම ගැනුම්කරුවන් අතර සිටින සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන ඇලෝසියස් අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම ඇතුළු සමාගම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කර වැඩි පොලියක් යටතේ වසර තිහක කාලයක් සඳහා බැඳුම්කර නිකුත් කිරීමට සැකකරු බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලේ සඳහන්.

පැමිණිල්ල සඳහා සාක්කිකරුවන් 22කගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට සැප්තැම්බර් මස 26 වැනි දින අධිකරණය පෙනී සිටින ලෙසට යළි නොතීසි නිකුත් කළ අතර එම නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් සිංගප්පූරුවේ ලිපිනයට නිකුත් කිරීමට රෙජිස්ටාර්වරයාට නියෝග කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s