වියපත් කතගේ කෝටි නමයට විද්ද තිදෙනෙක් දැලේ

හපුතලේ ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවකගේ ලොතරැයි දිනුමකින් හිමිවූ රුපියල් කෝටි 9.6කට අධික මුදලක් වංචා කළ ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පොලිසිය පවසන්නේ ඒ අතර කාන්තාවක්ද වන බවයි.

පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 18 වන දින පැවති ‘ධන නිධානය’ ලොතරැයියේ 1630 දරණ දිනුම් ඇදීමට අදාළව මෙම කාන්තාවට හිමිව තිබූ රුපියල් 96,298,759.58ක මුදල මෙලෙස වංචා කර ඇති බවයි සඳහන් වන්නේ.

විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ ලොතරැයි පත අලෙවි කළ නියෝජිතයා, තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග එක්ව, ජයග්‍රාහී කාන්තාව නොමග යවා ඇය වෙනුවට තමන් එම මුදල දිනා ඇති බව අඟවා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ විශේෂ විමර්ශන ඒකක දෙකක් විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොතරැයි අලෙවි නියෝජිතයා හා කාන්තාව හපුතලේ පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොටගල පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසුවා.

සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s