විදේශිකයා බියගන්වා මුදල් ගැරූ සැරයන්ට හා පීසිට වැඩ වරදී

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 30,000/= ක මුදලක් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවයි සඳහන් වන්නේ.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ,පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් ත්‍රිරෝද රථය නවතා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී දුම්වැටි දෙක හමුවී ඇති බවයි.

එම අවස්ථාවේදී මෙය අධිකරණයට ඉදිරිපත් කළහොත් රුපියල් 50,000/= ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත්, එසේ නොකොට රුපියල් 40,000/= ක් ලබාදීමෙන් ඔහුට නිදහස් වීමට හැකි බවත් මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එම විදේශීය ජාතිකයාට පවසා තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් විදේශිකයාගෙන් අදාළ මුදලින් රුපියල් 30,000/= ක මුදලක් ලබාගෙන ඇතැයි ද විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s