හොකී තරඟය මැද පාසල් සිසුන් මරා ගනී – දෙදෙනෙක් රෝහලේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය හොකී ක්‍රීඩාංගණයේදී පැවති මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකී අවසන් මහා තරගය අතරතුරදී ක්‍රීඩකයන් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

මෙම තීරණාත්මක තරගයට සුදුසුකම් ලබා තිබුණේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි.

තරගය ආරම්භ වී මිනිත්තු දොළහක් ගතවූ වහාම විද්‍යාර්ථ විද්‍යාලය විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමග ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයින්ට හොකී පිතිවලින් පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙම පහරදීමෙන් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එක් ක්‍රීඩකයෙකුගේ හිසට මැහුම් යෙදීමටද සිදුව තිබෙනවා.

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ තරඟය අතරමග නතර කිරීමට විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.

මීට පෙර ත්‍රිත්ව විද්‍යාලය ඇතුළු තවත් පාසල් කිහිපයක් විසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s