ලුණු ආනයනයේ ගජමිතුරු ඩීල්? ලුණු හිඟයට හේතු හෙළිවෙයි??

හදිසියේ උද්ගත වූ ලුණු හිඟයට විසඳුමක් ලෙසින්, ලුණු ආනයනයට අවසර ලබා දෙමින් ඉකුත් මැයි මස 19 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් පත්‍රය ප්‍රකාරව මෙරටට ආනයනය කරන ලද ලුණු කන්ටේනර් 400ක් වරායේ සිරවී තිබෙන බව වාර්තා වනවා.

අදාල කන්ටේනර් සඳහා නිකුත් කොට ඇති බිල් ලේඩිං හෙවත් නැව් බාර පත්‍රයේ දෝෂයක් නිසා මෙවන් තත්වයක් උද්ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.

වාර්තා වන ආකාරයට, අදාල නැව් බාර පත්‍රයේ දිනය ගැසට් පත්‍රයේ ද සඳහන් පරිදි ජුනි 10 වැනිදා වුවත්, එම කන්ටේනර් නැව්ගත කරන ලද දිනයන් ලෙස ජූනි 11 සහ 12 වශයෙන් සඳහන් වීම එම දෝෂයයි.

නැව්ගත කිරීමේ සමාගම් විසින් සිදුකරන ලද මෙම වරද හේතුවෙන් තමන් ඉමහත් අපහසුතාවයකට පත්ව සිටින බවට ලුණු ආනයනකරුවන් මැසිවිලි නගනවා.

එක් ආනයනකරුවෙකු පැවසුවේ තමා විසින් ආනයනය කරන ලද කන්ටේනර් 52ක් පමණ ඉකුත් ජූනි මස සිට වරායේ රඳවා ගෙන ඇති බවයි.

එසේම, මෙවන් පසුබිමක එක් සමාගමක කන්ටේනර් 6ක් පමණක් මුදා හැර ඇති බවටද පුවතක් වාර්තා වුණා.

මේ හේතුවෙන්, මෙම ක්‍රියාවලිය පිටුපස තිබෙන බරපතළ අක්‍රමිකතාවක් ගැන සැක පළ වී තිබෙන අතර එක් සමාගමකට හා පිරිසකට වාසි ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දී ඇති බවට ලුණු ආනයනකරුවන් චෝදනා නගනවා.

නිසි පියවර නොගතහොත්, මෙය කුප්‍රකට සීනි බදු වංචාව හා සමාන මහා මගඩියක තත්වයට පත්විය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s