මස්සිනා බේරා ගන්න ඇමතිගේ ලේකම් ලෙස පොලිසියට බලපෑම් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තම මස්සිනා නිදහස් කර ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දුන් බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබා දීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි අයකු බවයි.

සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන් බලපෑම් කර තිබූ බවත් හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුගේ මස්සිනා හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා මහරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුනා.

එහිදී සැකකරු විසින් ලබාදුන් ඇමතුම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබූ අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු භාවිතා කළ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුට අයත් දුරකථන අංකයක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s