අයිස් බෝනික්කා පොලිස් දැලේ

සීදුව පොලිස් වසමේ රාජපක්ෂ පුර ප්‍රදේශය වටලා අද (26) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 25 කට වැඩි ප්‍රමාණයක් හා කේරළ ගංජා ග්‍රෑම් 21 එකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී එම ප්‍රදේශයේ නිවාස හා බෝඩිං කාමර පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී බෝඩිං කාමරයක සිටි එක් කාන්තාවක් බෝනික්කෙක්ද රැගෙන කාමරයෙන් පිටතට යෑමේදී ඇය ගැන සැක සිතූ පොලිස් නිලධාරීන් ඇයව පරීක්ෂා කර තිබෙනවා.

පසුව කාන්තාව සන්තකයේ තිබූ බෝනික්කා පරික්ෂා කිරීමේදී එම බෝනික්කා තුළ සඟවා තිබියදී අදාළ මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා විද්‍යුත් තරාදියක්ද ඒ තුළ සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි නවයක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ මෙහෙයුමේදී සැකපිට පුද්ගලයින් 19 දෙනෙක්, දූෂණ වැරදි සඳහා පුද්ගලයින් 07 දෙනෙක් සහ අධිකරණය මඟහැර සිටි පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

ඊට අමතරව අංක තහඩු නොමැති යතුරු පැදි තුනක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණු අතර පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් 170 පමණ මෙහෙයුම සඳහා එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s