හොරෙන් ඉස්සූ කෝටි එකහමාරේ වාහනේ ලක්ෂ 15ට අරන් – ජාවාරම්කරුට වැඩ වරදී

සොරකම් කරන ලද රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 15ක මුදලකට මිලදී ගත් පුද්ගලයෙකු ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථයේ හිමිකරු මෙරට නේවාසිකව සිටින ඉන්දියානු ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු ඒකල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන්.

ඔහු විසින් මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නවතා තිබූ මෙම මෝටර් රථය ඔහුගේ සමීපතම මිතුරෙකු වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් සොරකම් කර ඇති අතර, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට එය ලක්ෂ 15ක මුදලකට අලෙවිකොට තිබෙනවා.

පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙසේ එම මෝටර් රථය මිලදීගත් පුද්ගලයාවයි.

මෙසේ අත් අඩංගුවට පත් වූ පුද්ගලයා කලක සිටම සොරකම් කරන ලද වාහන අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙමින් සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සොරකම් කරන ලද මෝටර් රථයද මීගමුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

මෝටර් රථය සොරකම් කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට සිටිනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s